ආදරණීය තාරා,
මේ ජීවිතයේ අප පැතූ දේවලින් කොයිතරම් පුංචි ප්‍රමාණයක්ද අපට ලැබී තියෙන්නේ. ඔයානම් මට කියයි, "මොනවද ඔයාට අඩු, ඔයා ලස්සන ජීවිතයක් ගත කරනවා, මං ඒකට අයිති නැහැ කියලා". ඒත් ..ජීවිතයේ තමන්ට තමන්ව ම හොයා ගන්න බැරි වුණු මිනිහෙක්ගේ ශෝකාන්තය ඔයාට වැටහෙන්නේ නැහැ. තමන් තුළ ම තමන් සමග ම අරගලයක යෙදෙන හිතක විලාපය කෛලාස පර්වත කූට දෙදරවන්න තරම් බලවත්.
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ
මගේ ජීවිතයේ සුන්දර ම දවස් ගෙවුනේ ඔයාගේ ඇසුරේ. කල්ප ගණන් පුරා විඳවමින් යන මේ ජීවිතයේ ඔබත් එක්ක අත්වැල් පටලා ආයෙත් ඇවිද යන්න වියතක් තරම් කාලයක් ගන්න බැරිද?
ඔයා කියන විදිහට ලෝකෙ ලස්සන ම පාට තියෙන්නේ හඳ එලියෙ.
"පහන්, ඇයි ඔයාට ඔයාගෙ හැම චිත්‍රයකට ම හඳ එලියේ තියෙන ලස්සන පාට ගාන්න බැරි? " ඔයා හැමදා ම මගෙන් ඇහැව්වා.
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳපානේ මද අඳුරේ
අපි අපි ම හදාගත්ත ලෝකවල හිරවෙලා, අපි අපි ම හදා ගත්ත ප්‍රතිරූපවල හිරවෙලා. ඒවා හෙවණැලි වගේ අපේ පස්සෙන් එනවා. ඔයා වැදගත් කුල කාන්තාවක්, කොහොමද මං වගේ විවාහක චිත්‍ර ශිල්පියෙක් එක්ක බැඳෙන්නේ? සමාජය මොනවා නොකියාවිද ? ඒත් තාරා, ඒකද ජීවිතය?
අපි අපේ හෙවණැලි අතහැරදාලා අපි විතරක් ම හමු වෙමු. කිසිකෙනෙකුට නෑසෙන්නට අපි කොඳුරමු රහසින්. අපි දෙන්නා විතරක් ම අපේ ලෝකයේ..
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
ඒත් සැබෑ ලෝකය ඊට වඩා වෙනස්, ඒක ඔයත් දන්නවා, මාත් දන්නවා. අපිට ප්‍රසිද්ධියේ කඳුලු සලන්න ඉඩ නැහැ. ඒ හැම කඳුලු බිංදුවක් ම සිනාවක් ඇතුලෙ දියකරලා සඟවලා දාන්න වෙලා තියෙන්නේ.
එක් වෙන්න අයිතියක් නැති සාම්ප්‍රදායික පෙම්වතුන් වගේ "මතු ආත්මයේ හමු වෙමු" කියා කියන්නේ නැතිව මොනවා කියන්නද ?
ඒත් තාරා, මතු ආත්මයට තව කල් තියෙන නිසා,
"අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
මතු ආත්මයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ"
ලෝකය දැනගත යුතු නැහැ අපගේ ප්‍රේමය, එය හැමදා ම රහසක් ව තිබුණා වේ. ලෝකය තේරුම් ගන්නෙ කොහොමද, අපේ හැඟුම් ගැන.
- පහන්
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : වික්ටර් රත්නායක
No comments:
Post a Comment