Showing posts with label Tara. Show all posts
Showing posts with label Tara. Show all posts

Thursday, April 7, 2016

ප්‍රියේ නුඹ ම උපනූපන් ජාති හමුවේවා....


එදා අපි උන්නෙ ඉමක් නිමක් නැති ගමනක... ඔයාට මතකද? ඉසව්වක් ගැන නිනව්වක් නැතිව සුක්කානම හැරවුණු අත ඔහේ ඇදී ගිය ඒ සුන්දර දවස් ආයෙ කිසිම දවසක හමුනොවනු ඇත්ද? අපේ ආදරයේ ලස්සනම දවස්වල මතක දිගෑරෙන හැම මොහොතකම ඒ හැම හුස්මක් ගාණෙම වික්ටර් රත්නායකයන්ගෙ ගී හඬත් ඇහෙන්නට ගනීවි... මට විශ්වාසයි ඔයාටත් එහෙම ම වේවි...

එදා ඒ ගීතය මුල් ම වරට සවන ගැටෙද්දි මුලින්ම මං තිගැස්සුණේ ඇතුළතින්... වැඩියක්ම එහෙම වුණේ ‘‘එක වහළක් යට එකට දකින්නට‘‘ වචන ටික හීන් සීරුවෙ හිතට ඇතුළ් වෙලා තුන් හිතම කොනිත්තන්න ගත්තම. හුරු හඬින් ගලා ආ නුහුරු වදන් පෙළ හිත පත්ළෙම ලැගුම් ගත්තා. මගේ කතා පෙට්ටියට අගුළු වැටුණා... මං ගීතයේ දැහැන්ගත උණා. ඔයත් එහෙම ම වෙන්න ඇති. අපි දෙදෙනාම නිශ්චලත්වයක ගිලී ගියා. කතා කළේ ගී හඬත්, ස්වර නදත් පමණයි.

මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ
කැලුම් දිදුලවන සරා සුපුන් සඳ
එක වහළක් යට එකට දකින්නට
පූරුවෙ කල පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹ ම උපනූපන් ජාති හමු වේවා...


හඳ එළිය දෝරෙ ගලන රැයක ඔය හුස්ම වැටෙන මානෙක ඉන්නට තිබුණා නම් හඳටත් ඉරිසියා හිතෙන තරමට ආදරය පිටාර ගලන බව නිසැකයි. ඒත් එකම හඳ එක වහළක් යට විතරක් නෙවි, එකම අහසක් යට එක ළඟින් ඉඳන්වත් දකින්න පින් නැති දෙදෙනෙක් අපි... තවත් ආත්මභවයක් ගැන පැතුම් පතන්නෙ කොහොමද? මේ පමා වූ හමුවීම පවා අප්‍රමාණ රිදුමක් වූ විට... 

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
පැතූ පැතුම් පෙල දැවී ගියාවූ
ජීවිතයට ඔබ අලුතින් එක් වී
මා ජීවත් කර සතුට ගෙනා වූ
ප්‍රියේ නුඹ ම උපනූපන් ජාති හමුවේවා....


ආදරය ගැන දුටු දහසක් සිහින බොඳ වී, යළි පෙමක නොපැටලෙන්නෙමැයි ප්‍රතිඥා දී තිබූ හුදකලා ජීවිතයට අලුතින් එක් වූ ඔබ මා ජීවත් කරවන්නට සතුට ගෙනා හැටි කෙලෙස නම් අමතක කරන්නද? 

හීන දකින්නෙ මං වුණාට ඒ හීන මටත් වඩා අරපරිස්සමට මතකයේ තැන්පත් කරල තියාගන්නෙ ඔයා... හීනවලම ජීවත් වෙනවා කිය කියා ඇනුම් බැනුම් කෝටියක් දිගාරින අතරම, ඒ හීන හැබෑ කරල දෙන්නෙ කොහොමද කියල හීන දකින්නෙත් ඔයා... ඒ ඔයාගෙ විදිය... වික්ටර්ගෙ හඬට, ඒ අපූර්ව ගී ගඟුලට මගේ ඇල්ම කොතරම් ද? මගේ ඇල්ම ඔබේ බැල්මට හමුවීම කොතරම් අපූරුද!!!! හමුවන හැම මොහොතකම ඒ ගී හඬ අප අතරින් ගලා ගියා, හරියට දෙව්දූත ගීතිකාවන් වගේ... ඒ ඔයා ආදරය පෙන්වන එක විදියක්... 

ගීතය නිමවෙද්දි මගේ ඇස් තෙත් වෙලා.. 

‘‘ආයෙම වතාවක් ඒ සින්දුව දාන්න..“

මම එලෙස පැවසුවේ ඒ සියුම් වේදනාවේ, ශෝකාලාපයේ යළි යළිත් ගිලී යන්නට ඇති කැමැත්තෙන්.

‘‘ඇහුවට කමක් නෑ.. හිත රිද්දගන්න එපා..“ නැවතත් එකී ගීතයම හිස් අවකාශයට මුදාහරිමින් ඔබ කිව්වා. එතරම්ම මගේ හිත කියවන ඔබ ම මා රිදවන තරම්...

කිළිටි මගේ අත ඔබට සුදූසු නැත
එබැවින් වෙනතක බැඳුනද කම් නැත
එනමුඳු මෙලොවෙහි නැවත උපන් කළ
ඒ අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹ ම උපනූපන් ජාති හමුවේවා...


‘‘ඒ ටික මෙහෙමයි කියන්න ඕන.. ‘බොළඳ මගේ හිත ඔබට සුදුසු නැත‘ කියල...‘‘ මම සිනාසුණා මතකයි. 

සත්‍යයත් එයමයි... මේ බොළඳ හිත නිසා ඔබ අවුල් වෙන තරම්!!! මා විඳවන තරම්!!! ඒ අවුල් වියවුල් නිසා අපේ ආදරේ කැළැල් වේවි කියන බයටයි මං ඔයාට කියන්නේ.. මාව අමතක කරන්න, ඔයාට ගැළපෙන කෙනෙකුට ආදරය කරන්න කියල. ඇත්තටම එහෙම ඔයාට යන්න දෙන්න හිත හදාගෙන නම් නෙවෙයි..

‘‘මං හිතුවෙ ඒක කියන්නෙ මගේ පැත්තෙන් කියල.. ‘කිලිටි මගේ අත ඔබට සුදුසු නැත.“

ඔබ පිළිවදන් දෙන්නෙ කල්පනාබරව...

ඔබේ ගෙටත් උඩ, මගේ ගෙටත් උඩ කැලුම් දිදුළුවන සරත් සඳ දකින හැම මොහොතකම දෙතැනක උන්නත් අපට අපේ හිත් එකම රිද්මයකට ගැහෙන වග සිහිපත් වේවි. එකම වහළ යට එකට හිඳින්නට පින් නැති වුණත් එකම අහස යට හමු වූ ඒ පුංචි නිමේෂයන් ජීවිතයට අස්වැසිල්ලක් ගෙනා වග සඳ සිසිල මැද හැමදාම මා සිහිපත් කරන්නම්... 

පද මුසුව                 - ප්‍රේමකීර්ති ද අල්විස්
ස්වර සහ හඬ මුසුව - වික්ටර් රත්නායක


Wednesday, April 6, 2016

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්..


ආදරණීය තාරා,

මේ ජීවිතයේ අප පැතූ දේවලින් කොයිතරම් පුංචි ප්‍රමාණයක්ද අපට ලැබී තියෙන්නේ. ඔයානම් මට කියයි, "මොනවද ඔයාට අඩු, ඔයා ලස්සන ජීවිතයක් ගත කරනවා, මං ඒකට අයිති නැහැ කියලා". ඒත් ..ජීවිතයේ තමන්ට තමන්ව ම හොයා ගන්න බැරි වුණු මිනිහෙක්ගේ ශෝකාන්තය ඔයාට වැටහෙන්නේ නැහැ. තමන් තුළ ම තමන් සමග ම අරගලයක යෙදෙන හිතක විලාපය කෛලාස පර්වත කූට දෙදරවන්න තරම් බලවත්.

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ


මගේ ජීවිතයේ සුන්දර ම දවස් ගෙවුනේ ඔයාගේ ඇසුරේ. කල්ප ගණන් පුරා විඳවමින් යන මේ ජීවිතයේ ඔබත් එක්ක අත්වැල් පටලා ආයෙත් ඇවිද යන්න වියතක් තරම් කාලයක් ගන්න බැරිද?

ඔයා කියන විදිහට ලෝකෙ ලස්සන ම පාට තියෙන්නේ හඳ එලියෙ. 

"පහන්, ඇයි ඔයාට ඔයාගෙ හැම චිත්‍රයකට ම හඳ එලියේ තියෙන ලස්සන පාට ගාන්න බැරි? " ඔයා හැමදා ම මගෙන් ඇහැව්වා.

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳපානේ මද අඳුරේ 


අපි අපි ම හදාගත්ත ලෝකවල හිරවෙලා, අපි අපි ම හදා ගත්ත ප්‍රතිරූපවල හිරවෙලා. ඒවා හෙවණැලි වගේ අපේ පස්සෙන් එනවා. ඔයා වැදගත් කුල කාන්තාවක්, කොහොමද මං වගේ විවාහක චිත්‍ර ශිල්පියෙක් එක්ක බැඳෙන්නේ? සමාජය මොනවා නොකියාවිද ? ඒත් තාරා, ඒකද ජීවිතය? 

අපි අපේ හෙවණැලි අතහැරදාලා අපි විතරක් ම හමු වෙමු. කිසිකෙනෙකුට නෑසෙන්නට අපි කොඳුරමු රහසින්. අපි දෙන්නා විතරක් ම අපේ ලෝකයේ..

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ


ඒත් සැබෑ ලෝකය ඊට වඩා වෙනස්, ඒක ඔයත් දන්නවා, මාත් දන්නවා. අපිට ප්‍රසිද්ධියේ කඳුලු සලන්න ඉඩ නැහැ. ඒ හැම කඳුලු බිංදුවක් ම සිනාවක් ඇතුලෙ දියකරලා සඟවලා දාන්න වෙලා තියෙන්නේ.
එක් වෙන්න අයිතියක් නැති සාම්ප්‍රදායික පෙම්වතුන් වගේ "මතු ආත්මයේ හමු වෙමු" කියා කියන්නේ නැතිව මොනවා කියන්නද ?
ඒත් තාරා, මතු ආත්මයට තව කල් තියෙන නිසා,

"අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
මතු ආත්මයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ"


ලෝකය දැනගත යුතු නැහැ අපගේ ප්‍රේමය, එය හැමදා ම රහසක්  ව තිබුණා වේ. ලෝකය තේරුම් ගන්නෙ කොහොමද, අපේ හැඟුම් ගැන.

- පහන්

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : වික්ටර් රත්නායක