Showing posts with label තාරා. Show all posts
Showing posts with label තාරා. Show all posts

Wednesday, April 6, 2016

ඔබේ ආදරේ වරුසා වැහැලා

‍ෙ

‘‘අපි වැව ළඟට යමු.” මම පවසමි.

‘‘ඔයා නම් හැඟුම් පොදියක්.. ෆැන්ටසි ලෝකයක්...” ඔබ හිනැහෙයි. ගොම්මන අන්ධකාරයට ඇරයුම් කරයි. නිස්කංලක මාවතක් ඔස්සේ රිය සක ඇදී යයි. කොහේ කොතැන ගිය ද කම් නැත. ඔබ මා අසල සිටින විට කිසිදු බියක් සිතට නොනැඟේ. එසේනම් නිරන්තරයෙන් මා පෙළන අනියත බිය කුමක්ද? ඔබ මවෙතින් අසනු ඇත. නිරුත්තර වෙමි.

ආදරණීය පහන්,

මා බිය වන්නේ ඔබට නොව මට ම ය. මට ද නොව ලෝකයට ය. අප හමුවූයේ බොහෝ පමා වී ය. මෙතරම්ම හුදකලාවක මා ගිල්වා නොතබා මින් පෙර මවෙත එන්නට ඔබට නොහැකි වූයේ මන්ද?

‘‘ඔන්න ආවා...” වැව ඉස්මත්තේ රිය නවතන ඔබ මහත් සැහැල්ලුවෙන් අසුන මත හිස තැන්පත් කරගනියි. හැමදාමත් මෙන් මම ඔබේ වම් පසින් වත මත නෙත් තබමි. අවිහිංසක දසුනකි. මසිත ඇද බැඳ තබාගන්නේම ඒ අහිංසක සරල පෙනුම නොවේද?

කප්පරක් බැනුම් පොදි මා මත ගොඩගසන මොහොතක වුව පසෙකින් හිඳ මෙලෙසම ඔබ දෙස බලා සිටින්නට මම රිසි වෙමි. කඳුළු කැට දෑසින් කඩා හැලෙන මොහොතක දී වුව... සියල්ලට වඩා බලවත් ප්‍රේමයක් ඔය පපුතුර සැඟවී ඇතැයි විශ්වාස කරමින් මම නිසොල්මන්ව සිටිමි.

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ

මම ඔබ උරහිසට බර වෙමි. මද අඳුර පිරිමදිමින් හමන පවනැල්ලේ සිහිලැල්ලට මුසු වන්නේ ඔබේ සුවඳ ය. හෙමිහිට උරිස්සෙහි මුහුණ ඔබා ඒ සුවඳ මගේ ආත්මයටම උරා ගනිමි. පිරිමි පපුතුරක මෙතරම්ම සුවඳක්, උණුහුමක් වන වග මා පළමුවරට හඳුනාගත්තේ ඔබ වෙතින් යැයි පැවසුවහොත්, ඔබ විශ්වාස නොකරනු ඇතැයි සිතමි. මෙතරම්ම සෙනෙහසක් මා විඳගත්තේ පළමුවරට යැයි පැවසුවහොත්, එයද ඔබ විශ්වාස කරනු ඇත්ද? ආදරයේ මුදු සුමුදු පහසින් මගේ හදවත ළදල්ලක් සේ සසැලී යයි.

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ… කතර දෙව් ලොවක් වේ…

මම හසරක් අසමින්, කෙම්බිමක් සොයමින්‍ සරන්නියක නොවූයෙමි. මට ජීවිතයක් තිබුණි. එකී ජීවිතය පිරිපුන් යැයි මම සිතා සිටියෙමි, ඔබ හමුවන තුරුම. ගෙවූ දිවිය කතරක් වී යැයි හැඟුමක් හෝ නොවුණි. අහඹු නිමේෂයක ඔබේ දෑස මා දෑස් මත නැවතුණු දා සිට සුදු වැලි කතරක් වූ මගේ ජීවිතය උත්තරීතර රස ගංඟාවකින් නැහැ වී ස්නේහයේ මල් පූදින්නට විය.

ආදරණීය පහන්, ඔබේ සෙනෙහස වරුසාවක් ව මා දිවිය මත පතිත ව, මේ හුදකලා ශුන්‍ය කාන්තාරය මොහොතින් දෙව් ලොවක් විය. ජීවිතයම දෙව්දූත ගීතයක් විය. ප්‍රේමය මේසා අසිරිමත් ප්‍රාතිහාර්යයක් බව මා කෙලෙස නම් අදහන්නද?

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ… අමා සුවය පැතුවේ…

ඈත ඈත සීත හිමවතක කඳු ගැට අතර උපදිනා දිය කදුරක් තරමට ම ඔබ මට ඈත ය. නමුත් ඔබේ සෙනෙහස දිය දහරාවක්ව මවෙත ගලා එන බව නිසැක ය. මා හදවත, මා ආත්මය ඔබේ අසීමිත ප්‍රේමයෙන් පිරී ගොස් ඇතැයි මට සිතේ. ඔබ මට කොතරම් ඈත ද, එතරම්ම ඔබ මට සමීප ය. ඒ ඈත හිමවතේ මීදුමෙන් වට වුණු කඳු අතර පාවෙන නිස්කලංක අමා සුවය රැගෙන මවෙත පැමිණෙන්න ඔබට එක් නිමේෂයක් ලැබේවායි මම ප්‍රාර්ථනය කරමි. මතු අත්භවයක නොවේ. මේ අත්භවයේදී ම...

ආදරණීය පහන්,

ඔබ මගේ ම, මගේ පමණක් ම වූවා නම් කොතරම් හොඳ ද?

මේ ඔබේ තාරා

___________________________
ගායනය – වික්ටර් රත්නායක
ගී පද – සේන වීරසේකර
සංගිතය – වික්ටර් රත්නායක


අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්..


ආදරණීය තාරා,

මේ ජීවිතයේ අප පැතූ දේවලින් කොයිතරම් පුංචි ප්‍රමාණයක්ද අපට ලැබී තියෙන්නේ. ඔයානම් මට කියයි, "මොනවද ඔයාට අඩු, ඔයා ලස්සන ජීවිතයක් ගත කරනවා, මං ඒකට අයිති නැහැ කියලා". ඒත් ..ජීවිතයේ තමන්ට තමන්ව ම හොයා ගන්න බැරි වුණු මිනිහෙක්ගේ ශෝකාන්තය ඔයාට වැටහෙන්නේ නැහැ. තමන් තුළ ම තමන් සමග ම අරගලයක යෙදෙන හිතක විලාපය කෛලාස පර්වත කූට දෙදරවන්න තරම් බලවත්.

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ


මගේ ජීවිතයේ සුන්දර ම දවස් ගෙවුනේ ඔයාගේ ඇසුරේ. කල්ප ගණන් පුරා විඳවමින් යන මේ ජීවිතයේ ඔබත් එක්ක අත්වැල් පටලා ආයෙත් ඇවිද යන්න වියතක් තරම් කාලයක් ගන්න බැරිද?

ඔයා කියන විදිහට ලෝකෙ ලස්සන ම පාට තියෙන්නේ හඳ එලියෙ. 

"පහන්, ඇයි ඔයාට ඔයාගෙ හැම චිත්‍රයකට ම හඳ එලියේ තියෙන ලස්සන පාට ගාන්න බැරි? " ඔයා හැමදා ම මගෙන් ඇහැව්වා.

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳපානේ මද අඳුරේ 


අපි අපි ම හදාගත්ත ලෝකවල හිරවෙලා, අපි අපි ම හදා ගත්ත ප්‍රතිරූපවල හිරවෙලා. ඒවා හෙවණැලි වගේ අපේ පස්සෙන් එනවා. ඔයා වැදගත් කුල කාන්තාවක්, කොහොමද මං වගේ විවාහක චිත්‍ර ශිල්පියෙක් එක්ක බැඳෙන්නේ? සමාජය මොනවා නොකියාවිද ? ඒත් තාරා, ඒකද ජීවිතය? 

අපි අපේ හෙවණැලි අතහැරදාලා අපි විතරක් ම හමු වෙමු. කිසිකෙනෙකුට නෑසෙන්නට අපි කොඳුරමු රහසින්. අපි දෙන්නා විතරක් ම අපේ ලෝකයේ..

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ


ඒත් සැබෑ ලෝකය ඊට වඩා වෙනස්, ඒක ඔයත් දන්නවා, මාත් දන්නවා. අපිට ප්‍රසිද්ධියේ කඳුලු සලන්න ඉඩ නැහැ. ඒ හැම කඳුලු බිංදුවක් ම සිනාවක් ඇතුලෙ දියකරලා සඟවලා දාන්න වෙලා තියෙන්නේ.
එක් වෙන්න අයිතියක් නැති සාම්ප්‍රදායික පෙම්වතුන් වගේ "මතු ආත්මයේ හමු වෙමු" කියා කියන්නේ නැතිව මොනවා කියන්නද ?
ඒත් තාරා, මතු ආත්මයට තව කල් තියෙන නිසා,

"අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
මතු ආත්මයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ"


ලෝකය දැනගත යුතු නැහැ අපගේ ප්‍රේමය, එය හැමදා ම රහසක්  ව තිබුණා වේ. ලෝකය තේරුම් ගන්නෙ කොහොමද, අපේ හැඟුම් ගැන.

- පහන්

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : වික්ටර් රත්නායක